Wednesday, February 6, 2013

හලාල් යනු බලහත්කාරයෙන් පැටවිය හැකි දෙයක් නොවෙයි

දයා පෙරේරා - ජේ. ටී. ද සිල්වා

හලාල් යනු කිසිම ව්‍යාපාරයක් මත බලහත්කාරයෙන් පැටවිය හැකි දෙයක් නොවන අතර එය ශ්‍රී ලංකාවේ නීතියක් ද නොවන බවත්, එවැනි සහතිකයක් ප්‍රමිති ආයතනයෙන් නිකුත් නොකොට පෞද්ගලික ආයතනයකින් නිකුත් කිරීමට ඉඩ ලබාදී තිබෙන්නේ මන්දැයි ආණ්ඩුවෙන් විමසන බවත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවැසීය.

ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා එසේ සඳහන් කෙළේය. හලාල් සහතිකය ලබාගැනීම බලහත්කාරයෙන් නොව ස්වේච්ඡාවෙන් සිදුකළ යුතු ක්‍රියාවකැයිද පැවැසූ විපක්ෂ නායකවරයා මේ සහතිකය බලහත්කාරයෙන් පැටවීමට කටයුතු කරන්නේ කවුදැයි සොයා බලා ඒ පිළිබඳ පැමිණිල්ලකින් පසු විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ද පැවැසීය.

හලාල් සහතිකය ලබා ගන්නැයි බලපෑම් තිබෙන බව ගාල්ලේ ව්‍යාපාරිකයෙක් තමාට ප්‍රකාශ කළ බවද වික්‍රමසිංහ මහතා කීවේය. ආණ්ඩුව මුස්ලිම් නායකත්වය සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳන්නේ නැත්තේ ඇයි? මුස්ලිම් ආගමික නායකත්වය හා ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවක් නොකරන්නේ ඇයි? ජමයිතුල් උලමා සංවිධාන පනතෙහි හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා එම සංවිධානයට බලය දී නැහැ යිද විපක්ෂ නායකවරයා කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය. කිසිම ආගමික නායකයකුට රටේ නීතිය උල්ලංඝනය කරන්න බැහැ. භික්ෂුන් වහන්සේ, හින්දු පූජකවරයකු, මුස්ලිම් පූජකවරයකු හෝ කතෝලික පූජකතුමකු හෝ වරදක් කළහොත් එය වරදක් වෙනවා. අප ඒ වරද ගැන කතා කරනවා.

නීති විද්‍යා ප්‍රවේශය හා ප්‍රතිඵල සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් තිබෙනවා. එහිදී වැරැදි සිදුවී ඇති බවට සැකයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර විධිමත් පරීක්ෂණයක් කරන්න. වැරැදිකරුවන්ට හා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන්න. ජන වර්ගයන් අතර නොසන්සුන්තාව හා අවිශ්වාසය අවුළුවන සිද්ධි ගණනාවක්, අද රටේ තැනින් තැන මතුවෙමින් තියෙනවා. මෙය රටේ අනාගතය සම්බන්ධයෙන් සුබදායක තත්ත්වයක් නෙවෙයි.

මේ නිසා අද රටේ නිර්මාණය වෙමින් පවතින්නේ අන්තජාතිවාදී හා ආගම්වාදී බලවේගයන්ට හිස එසැවීමට ඉඩකඩ සලසන පරිසරයක්. ආණ්ඩුවේ යම් යම් කොටස් ද මේ බලවේද සමඟ සමීපව හා ක්‍රියාකාරීව කටයුතු කිරීම කනගාටුවට කරුණක්.

2013. 01. 21 දින අමාත්‍ය එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතා මේ ගරු සභාව හමුවේ පසුගියදා එවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිසිවක් නැතැයි පවසන අවස්ථාවේදීත්, කුලියාපිටිය නගරයේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කෙරුණු බව දැන් අප දන්නවා. (මේ ප්‍රහාරයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූවන්ද, ආණ්ඩුවෙන් නිල වාහන භාවිත කරන පුද්ගලයන්ද සම්බන්ධ වී සිටි බව සිද්ධිය ඇසින් දුටු අය කියනවා.)

බුදු දහම පිළිපදින හා ඊට ගරු කරන පුද්ගලයකු වශයෙන් මම ප්‍රචණ්ඩත්වය හැම විටම පිටු දකිනවා. බුදුන් වහන්සේ කිසිවිටෙක ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය අනුගමනය කෙළේ නෑ. උන්වහන්සේ කිසි විටෙක තමන්ගේ මතයක් බලහත්කාරයෙන් අනුන් පිට පටවන්නට ගියේ නෑ.

අපේ පක්ෂයත් හැම විටම ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. අන්තවාදයට විරුද්ධයි. අපේ පක්ෂය අන්‍ය ආගම්වලටත්, අන්‍ය ජාතීන්ටත් එකසේ සලකනවා. ගරු කරනවා. අපේ පක්ෂය ආරම්භ කරමින් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා, ජාතියේ පියා පැවැසූ වදන් සංකේතවත් කරන්නේ ඒ සාමකාමී සහජීවනයයි. සංහිඳියාවයි. අපි ඒ සහජීවනය හා සංහිඳියාව මඟින් මතුවන ශ්‍රී ලාංකේය අන්‍යනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.

ජන සමාජයක වෙසෙන පුද්ගලයන් හා කණ්ඩායම් අතින් වැරැදි සිදු වෙනවා. එහෙත් එවැනි වරදක් හෝ අඩුපාඩුවක් සිදු වෙනවා නම් ඒවා නිවැරැදි කරගත යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් නොවෙයි. නීත්‍යනුකූලවයි.

සිංහල ජනතාවගේ ජනගහනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව පවසමින්, සිංහල ජාතිය බියවැද්දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තියෙන බව අපට පේනවා. අප කවුරුන්වත් මේ රටේ සිංහල ජාතිය සුළුතරයක් බවට පත් වනවාට කැමැති නෑ. ඒ නිසා කවුරුන් හෝ එවැනි චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් එහි විද්‍යාත්මක පදනමක් තිබේද කියා විමසා බැලිය යුතු වෙනවා. බුදුන් වහන්සේත් අපට උගන්වා ඇත්තේ කෙනෙක් කියූ පළියට, පොතක තිබූ පළියට, හොඳින් විමසා බැලීමකින් තොරව යමක් පිළිගන්නට එපා කියලයි.

අතීතයේ සිට රටේ සිංහල ජන අනුපාතය සලකා බලමු. 1946 වසරේදී සිංහල ජන අනුපාතය සියයට 69.4යි. 53 දී 69.3යි. සිංහල ජනගහනය දසම එකකින් අඩුවී ඇත්තේ පවුල් සැලැසුම් ක්‍රියාත්මක කරන යුගයේ නෙවෙයි. 1963දී 71යි. 1971දී 72 යි. ලංකාවට පවුල් සැලැසුම හඳුන්වා දුන්නේ හැත්තෑවේ දශකයේ මුලදීයි. එය ලංකාව පුරා ප්‍රචලිත කෙළේ හැත්තෑව දශකයේ මැද භාගයේදීයි. එහෙත් 1981 වන විට සිංහල ජනගහනය සියයට 74 දක්වා ඉහළ නැංගා. 2012 වසරේ 74.9යි.
ඒ නිසා, රටේ ජනවර්ග අතර ඇතිවෙමින් පවත්නා වූ මේ නොසන්සුන්තාව හා අවිශ්වාසය දුරු කරලීම සඳහා පදනම සැපයෙන;

* එල්. එල්. ආර්. සී. කොමිෂන් සභා වාර්තාව ආණ්ඩුව පිළිගන්නවාද?
* පිළිගෙන එහි නිර්දේශ ක්‍රියාත්මක කරනවාද?
* එසේ නොකරන්නේ නම් අනුගමනය කරන්නා වූ ක්‍රියා මාර්ගය කුමක්ද?
කියා මම අගමැතිතුමන්ගෙන් විමසා සිටින්නට කැමැතියි.