Tuesday, September 4, 2012

ලාංකික වන්දනාකරුවන්ට පහර දීම ඉන්දියානු රජය හෙලා දකී.



අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 4 අඟහරුවාදා - 17:02 GMT | BBC Sandeshaya
ලාංකික වන්දනාකරුවන්ට එරෙහිව විරෝධතා පවත්වන තමිල්නාඩු උද්ඝෝෂකයෝ
ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් පිරිසක් තමිල් නාඩුවේදී ප්‍රහාරයකට ලක්වීම ඉන්දීය රජය විසින් හෙලා දකින ලදී.
තන්ජාවුර් දිස්ත්‍රික්කයේ පූන්දී මාතා සහ වෙලාන්කන්නි කතෝලික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ගිය ශ්‍රී ලාංකික වන්දනා නඩ දෙකක් ත්‍රිචි ගුවන් තොටුපොල අසලදීයි ප්‍රහාරයට ලක් විය.
බී බී සී දෙමළ සේවයේ තිරුමලෙයි මනිවන්නන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය අගමැති කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍ය වී නාරායනස්වාමි ප්‍රකාශ කළේ දේශපාලන වශයෙන් ඇති ප්‍රති විරෝධතා විසඳා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවට සතුරු වීම නොකළ යුතු බවයි.

අවාසනාවන්ත සිදුවීමක්

තමිල්නාඩුවට පැමිණෙන ජනතාවට ආරක්ෂාව සැලසීම ප්‍රාන්ත රජයේ වගකීමක් යැයි ඉන්දීය අගමැති කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.
සිදුව ඇති ප්‍රහාරය අවාසනාවන්ත එකක් ලෙස හැඳින්වූ නියෝජ්‍ය අමාත්‍ය වී නාරායනස්වාමි මේ සම්බන්ධයෙන් 'රජය නිසි පියවර ගනු ඇතැයි' සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් ප්‍රනාන්දු

"අපේ බස් එකට ගල් ගැහුවා, බරපතල තුවාල කිසිදෙයක් වුනේ නැහැ, පල්ලිය ලගට ගියත් අපට වන්දනාවක්වත් කරගන්න හම්බ වුනේ නැහැ, ඉක්මනට මෙතනින් යන්න යයි පොලිසිය අපට කිව්වා"
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින හොඳ හිත පලුදු කිරීමේ අදහසින් තමිල්නාඩුවේ දී ලාංකික සංචාරකයන්ට පහරදී ඇති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සංදේශයට පැවසුවේ.
පසුගිය සඳුදා තමිල්නාඩුවේ තන්ජා වුර් දිස්ත්‍රික්කයේ කතෝලික දේවස්ථාන වැඳ පුද ගැනීම සඳහා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 184 දෙනෙකුට අඩත්තේට්ටම් කර ඇත්තේ කොටි සංවිධානයට හිතවත් කණ්ඩායමක් විසින් විය හැකියැයිද ඔහු කියා සිටියේය.

ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ

අතවරයට පත් පිරිස අතර සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රොෂාන් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ වන්දනාවේ නියැලුණු තම කණ්ඩායමට තර්ජන එල්ල වීමෙන් පසු ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණු බවයි.
"අපේ බස් එකට ගල් ගැහුවා, බරපතල තුවාල කිසිදෙයක් වුනේ නැහැ, පල්ලිය ලගට ගියත් අපට වන්දනාවක්වත් කරගන්න හම්බ වුනේ නැහැ, ඉක්මනට මෙතනින් යන්න යයි පොලිසිය අපට කිව්වා" යැයි ඔහු ප්‍රකාශ කළේය.
සිංහල සහ දෙමළ බැතිමතුන්ගෙන් සමන්විත මෙම වන්දනාකරුවන් පිරිස හැකි ඉක්මනින් ආරක්ෂා සහිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇතැයි ද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සඳහන් කළේය.
වන්දනාකරුවන්ට එරෙහිව උද්ගෝෂණ කළ පිරිස් අත කොටි සංවිධානයේ ධජය තිබී ඇතැයි පැවසු නියෝජ්‍ය ඇමතිවරයා "තිබුණු වෙලාවේ හැටියට, ප්‍රදේශයේ හැටියට ලබාදිය හැකි උපරිම ආරක්ෂාවක් වන්දනා කණ්ඩායමට ලබා දීමට පියවර ගත්තා" යැයි ද කියා සිටියේය.

සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්

මේ සිදුවීමෙන් පසු නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය යලි දැනුම් දෙනතුරු තමිල්නාඩුවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් සංචාරකයන්ට උපදෙස් දී ඇත.
දකුණු ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට, ක්‍රීඩකයන්ට සහ සංචාරකයන්ට මුහුණ දීමට සිදුවන අඩන්තේට්ටම් සහ හිරිහැර කිරීම් වල වැඩිවීමක් දක්නට ලැබීම කණගාටුවට කරුණක් බවයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ.
බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානය සමග ශ්‍රී ලංකා රජය කල යුද්ධය හේතුවෙන් කෝටි හයක දෙමළ ජනගහනයක් දිවි ගෙවන තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වලට දැඩි දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
පසුගිය මාස කිහිපය තුල ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේදී අවස්ථා කිහිපයකදීම හිරිහැර කෙරුණ අතර ඇතැම් ශ්‍රී ලාංකික නිලධාරීන්ගේ පැමිණීමට පවා එරෙහිව උද්ගෝෂණ සංවිධානය කර තිබුණි.

ඉන්දීය රජයේ ප්‍රතිචාරය

තමිල්නාඩුවේ සංචාරය කළ ශ්‍රී ලාංකික පාසැල් පාපන්දු කණ්ඩායමක් ආපසු හරවා යවන ලෙසට මහා ඇමතිනි ජයලලිතා ජෙයරාම් නියෝග කලේ ද මීට දින කිහිපයකට පෙරයි.
එමෙන්ම තමිල්නාඩුවේ ගුවන් හමුදා කඳවුරක පුහුණුව ලබමින් සිටි ලාංකික නිලධාරීන් අට දෙනෙකු වෙනත් ප්‍රාන්තයකට මාරු කර යැවීමටද ඇය පියවර ගත්තාය.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා

"තිබුණු වෙලාවේ හැටියට, ප්‍රදේශයේ හැටියට ලබාදිය හැකි උපරිම ආරක්ෂාවක් වන්දනා කණ්ඩායමට ලබා දීමට පියවර ගත්තා"
ශ්‍රී ලංකා රජය තමිල්නාඩුවේ සංචාරය කිරීමෙන් වැලකින් ලෙස එරට පුරවැසියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ තමිල්නාඩුව ඇතුළු සමස්ත ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික ප්‍රභූ වරුන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා සියලු පියවර ප්‍රාන්ත ආණ්ඩු සමග සාකච්චා කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය විසින් ගෙන තිබෙන බවයි.
කෙසේ වෙතත් ඇතැම් අවස්ථා වල ඇතැම් ප්‍රභූවරුන් නිසි බලධාරීන්ට පුර්ව දැනුම් දීමකින් තොරව ඉන්දියාවේ සංචාර සඳහා පැමිණ තිබෙන බව පැහැදිලි වී ඇතැයිද ඔහු කියා සිටියේය.
පුරවැසියන් අතර පවතින අනොන්‍ය මිත්‍රත්වය දෙරට අතර පවතින ඓයිතිහාසික, වාර්ගික, සහ සංස්කෘතික සම්බන්දතා වලට ප්‍රධාන සාධකය වී ඇති බවද ඔහු අවධාරණය කළේය.
නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් ප්‍රනාන්දු පවසන්නේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට මෙය කාලය නොවන බවයි. "ඉන්දීය රජය ආරක්ෂාව සහතික කරන බවට ලිඛිතව පොරොන්දුවක් දෙනවනම් විනා මෙවැනි වාතාවරණයක් තුල ඉන්දියාවේ සංචාරය කිරීම සුදුසු නැහැ"යැයි ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස අග දී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.